Saturday, February 18, 2017

මිනිසුන් නොමිනිසුන්..

Chapter 1

වසර 2400 මුල් භාගය ලොවට එතරම් සුභ කාලපරිච්චේදයක් නම් නොවීය. තාක්ෂණය විසින් ලොව ගිල ගනිමින් සිටි අවදියකි. දියුණු රටවල් විසින් එකමුතුව අඟහරු ජනාවාස ව්‍යාපෘති සාර්තක කරගෙන සිටි අතර පරිසරයට නිදහසට ආදරය කල බොහෝ ධනවතුන් අඟහරු වාසීන් වීය.

පෘතුවියේ ජනගහනයට සාපේක්ෂව වියවුල් ඇති වූ අතර ව්‍යාප්ත වාදය පදනම් කරගත් ආගම් වාදීන් හා ඒවාගෙන් උපරිම පල නෙලා ගත්තෝ ඒවා පොෂණය කරමින් ලොවේ යුද ගිනිදැල් ඇවිලවූවෝම වීය. අවිහින්සාවාදී ආගම් ඇදහූවෝ මර්දනයට ලක්වෙමින් සිටි අතර විද්‍යාව සියල්ල යැයි ඇදහූවෝ තුන් වන පාර්ශවයක් ලෙස මිනිසාගේ සාගින්න වෙළඳාම් කරන්නන් බවට පත්වී සිටියේය. ඔවුන්ම අඟහරු දෙවන පෘතුවිය ලෙස ගෙන සාමකාමී ලෙස පාලනය කරමින් සිටි අතර පෘතුවියේ නිල නොලත් අධිකාරිය ඔවුන් සතු වීය. කැරලි කරුවන්ද විරල නොවූ අතර සෙසු සියලු දුප්පත් රටවල වූවන් පැය කිහිපයක් තුල මහා ජනසංහාරයක් මගින් මිහිමතින් අතුගා දැමීමට තරම් තාක්ෂණයක් කේන්ද්‍රගත කොටගෙන සිටි අවධියකි.

වසර 2200 කාලයේ සිදුවූ වැදගත් සිදුවීමක් වීය. ජීව ගල නම් අදටත් මිත්‍යාවක් ලෙස ගැනෙන යම් මූල ද්‍රව්‍යයක් යුරෝපය ප්‍රමුක රටවලින් නිපදවන්නට ගත්තේ ඔවුන්ගේ සොයා ගැනීමක් ලෙස වූවද එය නිල නොලත් ලෙස වාර්තා වූයේ දක්ශිණක් ද්‍රැවයේ යම් පෙදෙසකින් සොයාගත් අධි විකිරණශීලී පිටසක්වල මූල ද්‍රව්‍යයක් පදනම්කරගෙන නිපදවන්නට යෙදුන බවකි. ඒ සම්බන්දයෙන් පරීක්ශණ කල මුල් විද්‍යාඥයන් තවමත් අඟහරු වල සිටින බව පැවසේ. එනම් ඒ මූල ද්‍රව්‍යයන්ට ජීවී සෛල පෝශණය කල හැකි වූ අතර තවදුරටත් මිනිසාට අමරණීයත්වය සිහිනයක් නොවීය. මේ සියල්ල පදනම් කරගෙන එය මුදල් ඉපයීම වෙනුවෙන් එකල යෙදවීමට ලොව ප්‍රභල රටවල් රහසේ එක්වී ඇති අතර අවසන් සම්මුතිය ලෙස තාක්ශණය කේන්ද්‍ර ගත කර ලොව අස්තාවර කිරීම හා සාගින්න වැපිරීමේ මහා අමානුශික මෙහෙයුම් දියත් කර ඇත.

අවසන නිල ලෙස මිනිසුන් දෙමුහුන් කිරීම වසර 2300 මුල් භාගයේ අගහරු ව්‍යාපෘති වලට සමගාමීව පටන් ගෙන ඇති අතර මිනිසුන්ගේ සිරුරට මෙම බද්ධ කරන ලද මෙම මූල ද්‍රව්‍යය කොටස් මගින් ශරීරය පෝශනය වීමට සැලැස්වීම අමරණීයත්වයම වී ඇත. කෙසේ උවද මෙය ඇතමුන් හෙලා දුටු අතර සමහරෙක් අමරණීයත්වය ප්‍රතික්ශේප කරන්නට වීය. අහාර හිඟය හා යුද්ධ ඇති කිරීම තවත් තීව්‍ර කරන්නට පෙර කී තුන්වන පාර්ශවයන් පෙලඹී ඇති බවක් අතීතයෙන් සොයා ගත හැකිය.

කරුණු එසේ යෙදෙද්දී සියල්ලන්ටම දෙමුහුන් කරණයට ලක්වීමට මුදල් නොතිබෙන්නට ඇත. ඒ ගැන එතරම් සඳහනක් නොවූවද කැරලි කරුවන් නමින් හැඳින්වූ නිර්නාමික විද්වතුන් හා පරිගණක ජාල බිඳින්නන් විසින් මෙම තාක්ශණය හොරකම් කර ඇති අතර ඒවායින් නිපදවුණු අතුරු ප්‍රතිපල නම් ජීවය උකහාගන්නන් ඇති වීමය. දෙමුහුන් කල මිනිසුන් මෙන් නොවූ මොවුන් හට ජීවය වෙනවුන්ගෙන් උකහා ගැනීමට අවෂ්‍ය විය. විකෘති ජීවීන් වූ මොවුන් ඝාතනය කිරීම පවා අපහසු වීය. ඔවුන් තනිව දුර කැලෑ ගරා වැටුනු ඉසවු වල ජීවත් වූ අතර පරීක්ශණ සදහා හෝ අහිමි වූ නෑයින් සොයා යන සාමාන්‍ය සහ දෙමුහුන් මිනිසුන්ගේත් තිරිසන් සතුන්ගේත් ජීවය උරා බොමින් මොවුන් ජීවත් වීය. ඇතම් විට කලහකාරී වූ සමහරෙක් ගම් නගර වලට පවා වැද ඝාතන සිදු කලේ මොවුන්ගේ ජීවය අඩුවත්ම විකල් ස්වරූපයක් සහ අධික ශක්තියක් පෙන්වීය. බොහෝ ආයුධ හා උණ්ඩ ඔවුන් වෙනුවෙන් වසරකට වැය කිරීමට රජයේ හමුදාවන්ට මෙන්ම ත්‍රස්තවාදීන්ටද එකසේ සිදු වූවේය.

Thursday, February 16, 2017

chapter 02

Chapter 2

ලොව තවදුරටත් දේශපාලනයක් හො ප්‍රජාතන්ත්‍ර වාදයක් නොවූ අතර බටහිර කේන්ද්‍ර කරගත් රූකඩ පාලනයන් ලොව සෙසු රටවල වීය. ඊශ්‍රායලය කියුබාව ජපානය රුසියාව වැනි විප්ලවවාදී රටවල් වෙනම මාවත වලට පිවිසි අතර විශාල පවුරු වලින් වට කොට ගෙන ලොවෙන් හුදකලා වීය. යුද්දය වෙනුවෙන් නිශ්පාදන කලද ලෝක පාලනයට හවුල් වූයේ අඩුවෙනි. ඔවුන්ගේ රටවැසියන් භාහිර බලපෑම් වලින් නිදහස් කොට රටවල් ස්තාවරව පවත්වා ගැනීම ඔවුන්ගේ අර්මුණ වීය.

ක්‍රමයෙන් මිනිසුන් අමරණීයත්වය ප්‍රතික්ශේප කිරන්නට වූවේ යුද ගැටුම් මැද සිදු වෙමින් පැවති මානසික විපර්යාස හා ඒකාකාරී විකාරයක් මෙන් වූ ජීවිත කලකිරීමෙනි. පවුල් ජීවිත හුදෙක් සංකල්පයන් හා අතීතයන් අතර දෝලනය වෙමින් තිබිනි. සබඳතා දුර්වල වූ අතර පෙර මූලික මිනිස් අවශ්‍යතාවන් වූ ආහාර හා ජලය තවදුරටත් නොවීය. දිවි රැක ගැනීම තරමක් වෙහෙස කාරී වූවද හුදෙක් දෙමුහුන් වූවන් අතර සබදකම් විරල වූ හෙයින්ද දෙමුහුන් ජීවිතය ප්‍රතික්ශේපකල නෑයින් මියගොස් සිටීමද සංස්කෘතික විපර්යාස වලට මුල පිරීය. වාසනාවකට මෙන් දෙමුන්හුන් වූවන්ගෙන් පැවතෙන පැටවුන් සාමන්‍යයන් වීය. ඔවුන් දෙමාපියන් විසින් පෝෂණය කරන ලද අතර ඇතමෙක් ඔවුන්වද දෙමුහුන් කරණය කරවන ලදී. මේ අතර දෙමුහුන් කරණයෙන් ඉවත් වී සාමන්‍ය ජීවිත අරගලයට මුහුණ දුන්නන්ද වීය.

මා එසේ දෙමුහුන් කරණය අත හැරියෙක් වීමි. අවුරුදු 98 ක් වූ මා දෙමුහුන් කරණයට ලක්වූයේ මා වයස 28 පමණ වෙද්දී ලියුකේමියා රෝගයට ගොදුරුවූ බැවිණි. මාගේ දෙමාපියන් ආසියාතිකයින් වූ අතර ඔවුන් පැරණි දිල්ලිය නමින් හැදින්වූ ඉන්දීය අර්ධද්වීපයේ වාසය කල අතර මා ජීවත්ව සිටියදීම මරණයට පත්විය. මා වයස 98 දී දෙමුහුණ් කරණයෙන් ඉවත් වූයේ වයස 28 ක මියයන ජීවිතයකට හා බොහෝ අරගල වලට මුහුණ දීමට ඉටා ගනිමින් ආසියාතික එකියක හා පෙමින් බැදෙමිනි.

Wednesday, February 15, 2017

chapter 03

අපේ පව්ලට සමීපව සිටි ඇය කුඩා කාලයේ මා උකුලෙහිම සැනසී ඇත. පැරණි ඉන්දියානු ලේන්ගතුකම් අප පවුල් වලට උරුම වී තිබිණි. ඇගේ දෙමාපියන් දෙමුහුන් කරණය වී සිටියද තම එකම දුවට තමාගේ දෙමුහුන්කරණය ගැන තීරණය කිරීමට ඉඩදී වැඩිවියට පත්වන තෙක් පෝෂණය කලෝය. ඇය දෙමුහුන්කරණය ප්‍රතික්ශේප කරමින් සිටි අතර වරක් ඇතිවූ මූලදර්මවාදී කෝල්හාල වලට සම්බන්දවීම හේතුවෙන් ඇයට පුනරුත්තාපනයට හා සාමාජ සේවා කම්කරු වරියක ලෙස පැසිෆික් කලාපයේ සේවයට යාමට සිදු වීය. ඒ ආසන්න කාලයකදී එක් සැඳෑවක ඇය මා හා ඇගේ සිතේ තිබූ මා පිලිබඳ ආදරය මුහුදු වෙරලක් අසලකදී පවසා සිටියෙන් මා ඇය පිලිගෙන දෙමුහුන් කරණය අතෑරීමට පොරොන්දු දුන්නෙමි.

අවාසනාවකට මෙන් පැසිෆික් කලාපයේදී ඇතිවූ සටන් වලට මැදිවීමෙන් ඈ සතුව තිබූ ජීවන සහකරු යන අර්තයෙන් හැදින්වූ  ඇපල් සමාගමේ ලයිෆ් මේට් පරිගණකය විනාෂ වී තිබිණි. බොහෝ දුරට 20 වන සියවසේ භාවිත වූ ජන්ගම දුරකතණයකට සමාන වූ මෙය කෘතීම බුද්ධියකින් හා ත්‍රිමාණ ප්‍රක්ෂේපන් හා සාමාන්‍ය තිරයකින් සමන්විත වීය. තාක්ෂණය දියුණුවට තවදුරටත් භෞතික සාධක වලට යටවන්නට වීය. සුපිරි ලෝහ සහ සන්නායක සංකල්ප වලටම සීමා වී තිබුණේ ස්වභාවදර්මයට ඒවා යටත් බව සිහි ගන්වමිනි. කෙසේ නමුත් ජාන අනුව ඕනෑම අයකුන් සොයා ගැනීමට තරම් ලෝකය දියුණු වී ජාල ගත කෙරී තිබුණි. සියලුම විදුලි උපකරණ නිමැවුනේ මිනිස් ඩී.එන්.ඒ වලට සාපේක්ශව ක්‍රමාංකිත විශේශිත ලෙස ගුණ වෙනස් කර සකසන ලද ලෝහ මගින් වූ අතර පරිගණක ජාලගත කිරීමේ පද්ධති මගින් ඒවා එකිනෙකට වෙනස් අනන්‍යතාවන් අනුව වෙන් කර තිබිණි. එබැවින් අන්‍යන්ට භාවිත කිරීමට හැකියාවක් නොවුවද ඒවා අලුත් වැඩියාව හෝ අලුත් උපකරණයක් ලබා ගැනීම මව් ආයතනය ඔස්සේම සිදු කල යුතු වීය. සමහරෙක් තම අණන්‍යතාව වසන් කරනුවස් ස්ව කැමැත්තෙන් ඒවා විනාශ කරන ලද අතර සමහරෙක් පරිඝණක ජාල හැකරුවන් හට අධික ලෙස මුදල් ගෙවීමෙන් ජාන වලට අදාල දත්ත වෙනස් කරගති. කැරලි කරුවන් විසින් තවදුරටත් ඇනලොග් ජාල පවත්වාගෙන යන ලදින් ඒවායේ පිලිසරණ සමහරෙක් ලබා ගත්තේ තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ශා කරගනු උදෙසාමය. වසර සියගනන් ජීවත්විය හැකි උවද සෑමවිටම යුද්ධ කෝලහාල හා ස්වභාවික අනතුරුත් සිය දිවි හානි කරගැනීම් වැනි මිනිස් සිතුමන් ඔස්සෙ ජීවිත කාලය තීරණය වීය.

මේ අනුව සිතන කල මා මෙතෙක් නම සඳහන් නොකල මාගේ පෙම්වතිය සොයා ගැනීමනම් දුෂ්කරම කාර්යක් වීය. ඇය නමින් සමීන්  නම් වීය. ඇයට අදාල තොරතුරු සරණාගත කඳවුරු වල සඳහන් වූයේ යුද්ධයෙන් අතුරුදන් වූවකු ලෙසය. ඇගේ සම්බන්ඳතා පරිඝණක ජාල වල නොවූ අතර ඇය තවමත් ජීවත්වන බව මාගේ විශ්වාසයයි. ඇය සොයාගැනීමට මා පැසිෆික් කලාපය කරා යාමට කල ඉල්ලීම් රජය විසින් ප්‍රතික්ෂේප කර තිබුණෙන් මා ඒ සඳහා කැරලි කරුවන්ගේ සහය පැතීමට ඉටා ගතිමි. ඔවුන් සතුවූ පැරණි න්‍යශ්ටික සබ්මැරීනයක් හෝ අතෑර දමා ඇති මුහුදු උමං මාර්ගයක් ඔස්සෙ දිවෙන අන්තර් මහද්වීපික න්‍යශ්ටිම දුම්රියකින් මා නිල නොවන ලෙස පිටුවහල් කෙරෙනු ඇත. ඊට ප්‍රථම කෙසේ හෝ මාගේ අනන්‍යතාවන් පරිඝණකගත ජාන ජාලවලින් ඉවත් කරගත් යුතුය. මාගේ සහයක ලයිෆ් මේටය හිලව්වට කර ගැනීම මාගේ අපේක්ශාව වී තිබිණි. එමගින් තවකෙකුට අනන්‍යතාවක් කැරලි කරුවන් විසින් ලබා දී පාඩුව පිරිමහගනු ඇත. එයට මාගේ පැරණි කැරලිකාර මිතුරෙකුගේ සහය ඉල්ලීමට මා බලාපොරොත්තු වීමි.

Tuesday, February 14, 2017

chapter 04

දින ගෙවෙමි තිබුණි.. ජීවිතාවබෝධයක් ගැන හෝ නිර්වාණයක් ගැන වූ අතීත කතා ගැන පිරික්සමින් ප්‍රක්ශේපණ තිරයේ වූ සටහන් මනසින් දකින්නට උත්සහ කලෙමි. මිනිසා තවමත් සිත ජයගෙන නොමැත. අධ්‍යාත්මය කෙමෙන් පිරිහෙමින් ලෞකිකත්වයම ඉදිරියට  පැමණෙමින් ඇත.

දහසක් සිතුවිලි අතර ගැටෙමින් හා දහසක් ජීවන ගැටුම් මධ්‍යයේ ආදරය කුමක්දැයි මා විමසීමි. ඇතැම් විට ඇය වෙනත් මගක් සොයාගෙන ඇත. වෙනකෙකු හා හාද වී හෝ දෙමුහුන්කරණය තෝරාගෙන ඇත. නැතහොත් මියගොස්ද විය හැක. මා තවමත් සිහිනයෙන් අතපතගාන්නාක් මෙන් ඇය සොයා ගැනීමට වෙහෙසීම නිරර්ථක යැයි සිත මුරගායි.

එවන් දිනක මා සිතුවිලි ඔස්සේ ඔහේ ඇවිද යන්නට වූයෙමි. ඉසව්වක් නොදැන පාරට බට මා අප කලින් නිතර හමුවූ වෙරළක් කරා පියනැගීය. සවස් යාමයක් වුවද මාගේ සිතට බරක් නොවීය. වෙරළට ලඟාවන විට රෑ බෝවී තිබිණි. අසල වූ දිරාගිය ලී බංකුවකට වූ මා ජීවිතයත් මරණයත් පිලිබඳ සිතුවිලි අතර අතරමං වූයේමි. නරක දවස් සහ අපැහැදිලි අනාගතයෙන් දෑස් තෙමී තිබියදී ඉදිරියෙන් හුරු පුරුදු රුවක් මා දෙසට එනු පෙනිනි.

ඒ ඇයම විය. සමීන් මා ඉදිරියට එමින් සිටී. විය නොහැකි උවත් දෑස් පිස දමා මාගේ දර්ශනය තහවුරු කර ගත්තෙමි. සිනාසෙමින් දුවමින් ඇයම පැමිණේ. මා සිතා උන්නා වැරදිය. ලොව තවමත් ආදරය පවතී. මරණයට තාක්ශණයට හෝ වෙනත් කිසිවකට මිනිස් සන්තානය වෙනස් කල නොහැකි බව මා ඇගේ මුහුණින් දුටුවෙමි. දහසකුත් බාධක මැඩ ගෙන ඇය මාකෙරේ පැමින ඇත. ආදරය..